2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

එකම හඬක් එක පෙත්තක් යට උමතු සාදයක්

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 173

ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් විසින් මෙසේ ලියන ලද්දේ සැබවින්ම ජීවිතයේ රහ ගැනය. ජීවිතය යනු රහට විඳිය යුත්තක් බව සැබවි. අප ඒ රහ ළංකර ගත යුත්තේ කිසිදු දිනක ජීවිතය විඳවීමකින් කෙළවර කර නොගන්නය. වර්තමානය වනවිට බොහෝ තරුණ තරුණියෝ ස්වකීය ජීවිතය එක් එක් අයුරින් වින්දනය කර ගනිති. නූතන තාක්ෂණයේ මහිමය ඔවුන්ට ඒ සඳහා ඕනෑවටත් වඩා ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත. දැන් දැන් අලුත්ම මාතෘකාවක් වී ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් සංවිධානය කරනු ලබන විවිධාකාර සාදයන්ය. මීට පෙරද අපි පුළුල් ලෙස මෙකී මාතෘකාව කතා කර ඇතත් තවදුරටත් ඒ පිළිබඳව කතා කරන්නේ එය නොනවතින රැල්ලක් ලෙස තරුණ පරපුර ගිල ගනිමින් සිටින උපද්‍රවයක් බවට පත්ව ඇති හෙයිනි. ෆේස්බුක් මගින් සංවිධානය වන මෙම සාද ඇතුළත ඇත්තේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ කතාවන්ය. පසුගිය දිනක ජා ඇල ප්‍රදේශයේ පැවති එවැනි සාදයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් වටලන ලදී.

ෆේස්බුක් මගින් තරුණ තරුණියන් පිරිසක් කණ්ඩායමක් වශයෙන් එකතු වී මෙම සාදය පවත්වා ඇත. සාදයට ඇතුළත් වීම සඳහා එක් අයකුගෙන් රුපියල් 1500 ක මුදලක් අය කරගෙන ඇති අතර දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් මෙම සාදයට සහභාගී වී සිටියහ. මත්පැන් මත්ගුලි සහ ගංජා භාවිතා කරමින් සිටි විවිධාකාර ප්‍රදේශවලින් සහභාගී වූ තරුණ තරුණියන් අතරින් වයස 25 ට අඩු තරුණයින් පස් දෙනෙක් කොළඹ සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙවැනි සිදුවීම් වාර්තා වන පළමුවතාව මෙය නොවන්නා සේම අවසාන වතාවද මෙය නොවන්නේය. සමාජ ජාලා වෙබ් අඩවි විශේෂයෙන්ම ෆේස්බුක් යනු දන්නා නොදන්නා මිතුරන් සුමිතුරන් කරන්නා වූ  ඉතාම ජනප්‍රිය මාධ්‍යයකි. ෆේස්බුක් මගින් සිදුවන දහසක් කටයුතු අතර මෙම සාද කටයුත්ත ද පෙරමුණේ පවතී.

හික්කඩුව, ගල්කිස්ස, මීගමුව ආදී ප්‍රදේශවල බහුලවම සිදුවන මෙම සාද මේ වන විට මුහුදු තිරයෙන් මෙපිට තැන්වලද පැවැත්වෙන බවට සාක්ෂියක් වන්නේ පෙර කී ජා-ඇළහි පැවැත්වූ සාදයයි.

මෙම සාද තාරුණ්‍යයේ මිහිරි හැමන් කුළු ගන්වන්නකි, පැඟිරි විසේ අවුස්සන්නකි. ෆේස්බුක් හරහා සංවිධානය වන මෙවැනි සාදවලට පැමිණෙන වෙනමම තරුණ තරුණියන් පිරිස් සිටිති. මොවුන් නිරන්තර ෆේස්බුක් සාමාජිකයන් නිසා මෙවැනි සාදවල ප්‍රචාරණ, ප්‍රචාරක කටයුතු පහසුවෙන් මෙන්ම ඉක්මනින් කරගැනීමට ෆේස්බුක් සමාජ ජාලා සංවිධාකයින්ට හැකි වී ඇත. මෙම සාද වලට සහභාගී වන තරුණ තරුණියන් බොහෝ විට පාසල් අධ්‍යාපනයවත් නිම කර නොමැත. දහසකට වැඩි මිලක් සහිත ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ඔවුහු මෙවැනි සාද වෙත ඇදෙන්නේ එතෙක් ජීවිතයේ නොවිඳි මිහිරි යැයි හැඟෙන යමක් විඳගැනීමටය. මෙකී සාදයන්හි මත්පැන් සඳහා හිමි වන්නේ ඉහළ තැනකි. බොහෝවිට එහි දේශීය මත්පැන් බෝතලයක් රුපියල් තුන්දහසකි. විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් දසදහස ඉක්මවයි. මේවා සංවිධානය කරන සංවිධායකයින්ගේ අභිප්‍රාය එක් රැයකින් උපදවන මුදල් ප්‍රමාණයකි. ඩී.ජේ. සංගීතයෙනුත් මත්ද්‍රව්‍යවලිනුත් මත්වෙන තරුණ තරුණියෝ පාන්දර යාමයක් වනතුරැ නර්තනයේ යෙදෙති. මෙහි විශේෂත්වය නම් ඔවුන් එකම විදිහට එකම වේගයට නර්තනයේ යෙදීමයි. එසේ නර්තනයේ යෙදෙන බොහෝ දෙනාගේ මුවේ ඇත්තේ ලොලි පොප් එකකි. උමතුවෙන් මෙන් නර්තනයේ යෙදෙන්නට ජවය ලබා දෙන්නේ එම ලොලිපොප් එකට පෙර ඔවුන් විසින් ලබාගන්නා ටැබ්ලට් එකකි.

මෙම ටැබ්ලට් වනාහි මත් පෙත්තකි. මෙරටට පැමිණෙන්නේ යුරෝපිය රටවල් මගිනි. මෙය අතින් අත යමින් හොර රහසේ සිදු කරනු ලබන අති දැවැන්ත ව්‍යාපාරයකි. මේ වනවිටත් ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යනු ලබන්නේ මෙවැනි සාදයන්ද ඔස්සේය .එම මත්පෙති මගින් මනසේ ඇතිවන වෙනස්කම් බොහොමයකි. එක් එක් මත්පෙති මනසට ගෙනෙන සංඥා වෙනස් කරනු ලබන්නේ විවිධාකාරයෙනි. මත්පෙති වැඩිපුරම සහයෝගය දක්වන්නේ සංගීතයට සහ ශබ්දයටය. එයිනුත් හවුස් මියුසික්වලට සුවිශේෂී වෙයි. හවුස් මියුසික් යනු ජෑස් රොක් සේම සංගීත සම්ප්‍රදායකි. සමහර මත්පෙති වර්ග සංගීතය පමණක් මනසට ගෙනෙන අතර තවත් සමහර පෙති ආලෝකයට මනසේ වැඩි ඉඩක් වෙන් කර දෙයි. එයටත් වඩා මෙම මත්පෙති මගින් පොදුවේ සිදු කරන්නේ මිනිසුන්ගේ තරාතිරම වෙනස් කර සම තැනක මනස පිහිටුවාලීමයි. ඒ නිසාම මත්පෙති මගින් පැය දහයක් පහළොවක් පමණ කාලයක් තරුණ තරුණියන්ව පාලනය කරයි. ඔවුන්ට බාහිර කිසිදු දෙයක් අදාළ නොවේ. එකම ශබ්දයක එකම ආලෝකයක එකම නර්තනයක මනසත් ශරීරයත් දෙකම තියා ගනී. මෙය අයිති වන්නේ රසායනික මත්ද්‍රව්‍ය ගණයටය. මිනිසුන්ගේ මනසේ දත්තයන් වෙනස් කිරීමට මෙම මත් පෙතිවලට හැකියාව තිබේ.

එමෙන්ම මෙවැනි සාද නිමාවට පත්වන්නේ නර්තනාවලින්ගෙන් පමණක් නොවේ. තරුණ තරුණියන් ලිංගික වශයෙන් පවා සක්‍රීය කෙරෙන මෙම උමතු සාදයන් වල සමලිංගික ඇසුරු පවා ජයටම කෙරී ගෙන යයි. මේවාට සහභාගී වන බොහෝ දෙනා කොළඹ උසස් පවුල් වල හෝ උසස් පාසල් වල අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ය. ඔවුන්ට මුල්‍යමය වශයෙන් අඩුවක් නොමැතිකම හා ඔවුන් සතුව ඇති අතිශය සමාජශීලි බව මෙවැනි සාදයන් වලින් තව තවත් තීව්‍ර වනු ලැබේ. එළඹෙන්නේ සාදමය දින කිහිපයකි. සැබවින්ම සාද පැවැත්විය යුත්තේ නොසන්සුන් මනස සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් පවත්වා ගැනීමට මිස ව්‍යාකුල කර ගැනීමට නොවේ. මෙකී සාදයන් වල අරුත එවැන්නකි.

ෆේස්බුක් මගින් මේ මොහොතේත් එවැනි සාදයන් සංවිධානය වෙමින් පවතී. අප කළ යුත්තේ එවන් සාදයන් වසා ගත් කළු පැල්ලම් මතු කර ඒවා තුරන් කිරීමට කටයුතු කිරීමය.

ලස්සන ලෝකෙක ඉපදීලා 
නූපන් හෙට ගැන නොසිතාලා 
හද සැණකෙළියේ වල්මත් වීලා 
රසෝඝයේ රුඳී ඉමූ .... රහයි ජීවිතේ .....

♦ තනූජා ලුම්බිණි